Thursday, May 16, 2024
Follow Us
පුළුවන් පහසුකම් තමා දීලා තියෙන්නෙ, ඉන්න බැරි නම් ආපු රටවලටම ආපහු යන්න - හමුදාව

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අනිවාර්යයෙන්ම නිරෝධානය ක්‍රියාවලියට යටත් බවත් ඊට අකමැති කවරෙකු හෝ සිටින්නේ නම් ඔවුන් ආපසු තමන් පැමිණි රටවලටම යා යුතු බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

"විශෙෂයෙන් කියන්න තියෙනදේ ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් නැවත නැවතත් දැනුවත් කරන්න ඕනෙ, ශ්‍රී ලාංකිකයින් පැමිණෙනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් සහයෝගය දිය යුතුයි. සහයෝගය නොදී ඉන්න හේතුව පුද්ගලික කාරණයක් නම් ඔවුන් නැවත ඔවුන්ගේ ගම්රටවල් - එහෙම නැත්නම් තමන් හිටපු රටවල් වලට යා යුතුයි !"

"ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි කියන්නෙ, ඔබ දන්නවා ශ්‍රී ලංකාවට පුළුවන් පහසුකම් තමා දීලා තියෙන්නෙ. මේ සියලු දෙනාම ලංකාවට පැමිණෙනකොට ඒ අවශ්‍ය දේවල් රජය විසින් දැනුවත් කරලා තියෙනවා ඔවුන්ට දෙන සියලු පහසුකම් නොමිලේ ලැබෙනවා කියලා. එතකොට හිතන්න අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඒ බරපැන - ආහාර, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වයිෆයි ආදී විදිහට අනේක වූ පහසුකම්, ඕනෑම රටකට තම පුරවැසියෙක් වශයෙන් හිමිව තිබෙනවා. ඒක ඔබතුමන්ලාම දන්නවා ඇති ඒක රටකට දරන්න පුළුවන් තත්වය"

"එන කවුරුන් වුණත් ලංකාවට එනවා නම් ඒ ස්ථානවලදී නිරෝධායන කටයුතුවලට සූදානම් විය යුතුයි. මං නැවත කියන්නේ ලංකාවට පැමිනෙනවා නම් සියලු රටවල්වලින් දැනට තෝරාගත්ත විශේෂ රටවල්වලින් එවුන් නිරෝධානය කටයුතු කළ යුතුයි. එසේ නොමැති නම් නැවත ඔවුන් ආපු රටවල් වලට ඔවුන් යන එක තමයි දැනට දීලා තියෙන උපදෙස අපි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බ්‍රිගේඩියර්වරයා මේ බව පැවසුවේ ඊයේ (11) ආරක්ෂක මාධ්‍ය ඒකකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන තම තමන්ට හිමි බල අධිකාරිය සම්බන්ධයෙන් වැරදි වැටහීමක හෝ නොදැනුවත්කමක පසුවන බව බොහෝ අවස්ථාවන්හි පෙන්නුම් කරන අතර මෙය ද එවන් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

තමන්ගේ මව්බිමට එන කවර හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු ආපසු හරවා යැවීමට හමුදාවට බලයක් දුන්නේ කවුද, කවදාද, මව්බිම යනුවෙන් අදහස් කෙරෙන්නේ එහි පුරවැසියන් නොමැතිව හුදෙක් බිම පමණක්ද යන ප්‍රශ්නය මේ ප්‍රකාශය හරහා නැවතත් මතුවේ.

(LNW)