ලෝක වෙළෙඳ පොලේ අඩුවන බොර තෙල් මිලේ වාසිය ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදි සලකා බලන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (09) පැවැසීය.
උඩරට වතුකරයේ ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට නියමිතව ඇති කොටගල නගරය ආශ්‍රිතව සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යාවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා එසේ කීය. එහෙදී තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසීය.
"පසුගිය රජයේ මසකට වරක් තෙල් මිල සංශෝධනය කරන ලද මිල සුත්‍රය අපි ඉවත් කළා. මිල සුත්‍රය තියෙද්දි හැම මාසයකම 10 දිනට ජනතාවගේ බොක්ක රත් වෙන එක තමයි සිදු වුනේ. පසුගිය කාලයේ බොර තෙල් මිල වැඩිව තිබියදීත් අපි තෙල් මිල වැඩි නොකර ස්ථාවරයක සිට අඩු මිලට ජනතාවට ඉන්ධන ලබා දුන්නා. සෑම පැට්‍රල් හා ඩීසල් ලීටරයකින්ම ඛනිජ තෙල් සංස්ථාව විශාල පාඩුවක් දරනවා. ඛනිජ තෙල් සංස්ථාව එම පාඩුව දරනවා කියන්නේ මේ රටේ ජනතාව තමයි එම පාඩුව දරන්නේ.
මිල සුත්‍රය කියන්නේ වැඩි වෙන විට වැඩි කරන අඩු වනවිට අඩු කරන සුත්‍රයක් වුනත් වැඩි වශයෙන් වෙළෙඳ පොළේ සිදු වන්නේ අඩුවීම නොව වැඩිවීමයි."
කෙසේවෙතත් ලෝක වෙළෙද පොලේ අඩුවන බොර තෙල් මිලේ වාසිය ඉදිරියේදි ජනතාවට ලබාදීම පිළිබඳව සළකා බලන බවයි ගුණවර්ධන මහතා පැවසුවේ.
(LNW)