Thursday, July 03, 2025
Follow Us
අන්තර්ජාල වෙළෙඳපොළේ වංචා අල්ලන්න නව නීති

ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරන වංචාකරුවන් මැඩලීම සඳහා අන්තර්ජාල සාප්පු වෙළෙඳපොළ නියාමනය කිරීමේ නව නීති සම්පාදනය කිරීමට රජය සූදානම් වේ.

මේ පිළිබඳ අදහස් පළ කරන පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රවර්ධන තරග අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න පවසන්නේ අන්තර්ජාල වෙළෙඳපොළ පාලනය කිරීමට ප්‍රමාණවත් නීති ශ්‍රී ලංකාව සතුව නොමැති බවයි.

අධ්‍යක්ෂවරිය සඳහන් කරන ආකාරයට ව්‍යාජ නිෂ්පාදන ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු ප්‍රමාද වී බෙදා හැරීම් සහ දුර්වල පාරිභෝගික සේවය වැනි අන්තර්ජාල මිලදී ගැනීම් පිළිබඳ ගැටලු රැසක් පසුගිය වකවානුවේදී පාරි​භෝගික අධිකාරිය වෙත ලැබී තිබේ. ඒ අතුරින් පැමිණිලි 46ක් එක් වෙළෙඳ ආයතනයකට එරෙහිව ලැබී ඇති බව ද ඇය පවසයි.

මෙම අන්තර්ජාල ව්‍යාපාර රජයේ ලියාපදිංචි ලබා නොතිබීම වෙළෙඳපොළට විශාල තර්ජනයක් බව ද පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි. මෙම ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවති තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ දී පැවැත් විණි.

එම නිසා අන්තර්ජාල වෙළෙඳපොළ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමටත් සදාචාර විරෝධී විකුණුම් පිළිවෙත්වලට එරෙහිව සටන් කිරීමටත් මෙලෙස එම නීති සම්පාදනය කිරීම සඳහා යෝජනා කඩිනමින් රජය හරහා සම්මත කරගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(Aruna)