බාලවයස්කාර දරුවන් දිනපතා විශාල වශයෙන් අපචාරවලට ගොදුරු වෙමින් සිටින බවත් සම අයිතීන් ඉල්ලන කාන්තාවන් ගෙදර දරුවා බලාගැනීමට උනන්දු නොවීම මීට හේතුවී ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
"අවුරුදු 12,13,14,10,08,06 දරුවන් දිනපතා දවස ගාණේ මේ අපරාධයට අහුවෙනවා. ඒ වගේම අද දවසේ - මේ කාන්තා දිනය දවසේ - ලංකාව පුරා 11ක් වාර්තා වෙලා තියෙනවා. සමහර දවසට මීට හුඟක් වැඩියි, අද නම් හොඳයි, 11යි.
අපි මේ අයිතිවාසිකම් ඉල්ලනවා, සම අයිතිය ඉල්ලනවා, මේ ඔක්කොම කරනවා, නමුත් අපේ මේ ගෙදර දරුවා බලාගන්න කාන්තාව වැඩි උනන්දුවක් නැතුවා වගෙයි මට නම් පේන්නෙ. ඒ පිළිබඳව රටම අවදි කරන්න ඕනෙ, කාන්තා දිනය තමයි හොඳම දිනය" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) හම්බන්තොට පැවති කාන්තා දින සමරු උත්සවයක් අමතමිනි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසර මුලදී ළමා අපචාර සීඝ්රයෙන් වැඩිවී ඇති බව චමල් රාජපක්ෂ මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය. ඒ, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්න කිරීමක් හමුවේය. එදින ද ඊට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමේදී රාජපක්ෂ මහතා පැවසුවේ "ඕවා එක එක අය එක එක ආශාවන් ඉටු කරගන්න කරන එව්වා ..." යන්නයේ ඉතා සැහැල්ලු කතාවකි. ඒවා වැළක්වීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඔහු පැවසුවේ නැත.
ඉනුත් ඉදිරියට යමින් ඊයේ දිනයේදී සමස්ත ක්‍රියාවලියේ වගකීම කාන්තාවන් පිට පටවා, සම අයිතිය ඉල්ලීම හාස්‍යයට ලක් කිරීමට උත්සාහ දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිකුලින් හෙළාදැකිය යුතු බව අපේ අදහසයි.
(LNW)