Monday, April 29, 2024
Follow Us
මාධ්‍යවේදීන්ට සහන මිලට වොයිස් හා ඩේටා පැකේජ

ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂිත වොයිස් පැකේජ සහ ඩේටා පැකේජ ඉතා සහනදායී මිලකට මාර්තු 16 වැනිදා සිට ලබාදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.

ජනතාවට තොරතුරු දැන ගැනීමේදී මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් ලෙස මෙම විශේෂ පැකේජ ක්‍රමයන් හඳුන්වා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඊයේ (2 වැනිදා) තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

​මෙම ඩේටා පැකේජ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් මොබිටෙල් ආයතනයේ දත්ත සහ උපාංග ජ්‍යෙෂ්ඨ කළමනාකරු යසිරි අබේගුණවර්ධන එහිදී පැවසුවේ රුපියල් 299ක මාසික ගාස්තු අය කිරීමක් මත පැකේජ ක්‍රමය ලබාගත හැකි බවයි.

මෙම වොයිස් පැකේජ ක්‍රමයට අනුව මාධ්‍යවේදීන් අතර සිදුවන දුරකථන ඇමැතුම්වලට කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර (සීමා රහිත) අනෙකුත් මොබිටෙල් දුරකථන අංකයකට ඇමැතුම් ලබාගන්නවා නම් මිනිත්තු 750ක් ​නොමිලේ ලැබෙයි.

එමෙන්ම මොබිටෙල් නොවන ඕනෑම දුරකථන අංකයකට දුරකථන ඇමැතුම් ලබාගැනීමට මිනිත්තු 250ක්ද නොමිලයේ හිමිවේ.

එමෙන්ම ගිගාබයිට් 2ක අමතර ඩේටා පහසුකමක්ද මෙම පැකේජයෙන් හිමිවෙයි.

වොයිස් පැකේජයට අමතරව මාධ්‍යවේදීන් සඳහා විශේෂිත ඩේටා පැකේජයක්ද ලබාදීමට නියමිතය.

ඒ අනුව මාසික ගාස්තුව රුපියල් 299ක් ගෙවා මෙය ලබාගත හැකිය.

මෙම පැකේජය මගින් කොතරම් වීඩියෝ ප්‍රමාණයක් සහ පින්තූර ප්‍රමාණයක් භාගත (Download) කළත් කිසිදු ගාස්තුවක් අය නොවන අතර වීඩියෝ භාගත (Download) කිරීමේ සහ උඩුගත (Upload) කිරී​මේ වේගයද කිසිදු වෙනසක් සිදු නොවෙයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2019 හෝ 2020 වසර සඳහා නිකුත් කර ඇති ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වා මාර්තු 16 වැනිදායින් පසු දිවයින පුරා ඇති මොබිටෙල් ශාඛාවලින් මෙම පැකේජය ලබාගත හැකිය.

(Aruna)