Thursday, July 03, 2025
Follow Us
නිලවාහන, කාර්ය මණ්ඩල ඡන්දයට භාවිතා කළොත් නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - මැ.කො.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ නීති බලාත්මක වන බවත් එම කාලසීමාව තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හැර රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සියලු තනතුරු අහෝසි වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව අයිතියක් නොමැති අය නිලවාහන සහ කාර්ය මණ්ඩල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් ඊට අමාත්‍යාංශ ලේකම්වරයා සහ අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානියා වගකිව යුතු බව පැවසූ ඒ මහතා එවන් සිදුවීම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි අවධාරණය කළේ.

"කාර්ය මණ්ඩල හරි නිලවාහන හරි අයිතියක් නොමැති කෙනෙක් පාවිච්චි කළොත් ඒකට වගකියන්න ඕනෙ ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා. නැත්නම් ඒ දෙපාර්තමේන්තුවේ, ඒ සංස්ථාවේ ප්‍රධානියා. ඔවුන් අපේ විධානවලින් බැඳෙනවා. මේ සම්බන්ධයෙන් ඉතාම තදින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමාට - කොමිෂන් සභාව රැස්වුණාම - ලිපියක් යවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය යහපත් වාතාවරණය මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි පවත්වා ගැනීම ජනාධිපතිතුමාගේ වගකීමක් වන්නේය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

(LNW)