Thursday, July 03, 2025
Follow Us
දියතරිප්පු කණ්ණාඩි අභාවයට යන්න මම ඉඩ දෙන්නෑ – ඇමති විමල් වීරවංශ

පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැළී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව තාක්ෂණයෙන් සපිරි දියතරිප්පු ඇස්කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකර දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පියවර ගෙන තිබේ.

මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානය ඊයේ (01 වැනිදා)) ඇමැතිවරයා විසින් විවෘත කරනු ලැබීය. පිළිමතලාව කහඹේ පිහිටි මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා මෙසේද කීවේය.

“කර්මාන්ත ඇමැති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය අභාවයට යමින් ඇති බව දැනගැනීමට ලැබුණා. මෙම කර්මාන්තය අපේ රටේ ඉතිහාසයේ පටන් පැවැති කර්මාන්තයක්. ඇතැම්විට ලොව ඇස් කණ්ණාඩියේ උපත මෙය විය හැකියි.

මෙම දියතරිප්පු කණ්ණාඩි හැදූ පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතා සමග මා සාකච්ඡා කළා. එහිදී මා තීරණය කළා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මෙරට ඇස්කණ්ණාඩි නිෂ්පාදන කර්මාන්තයේ කීර්තියක් දිනාගෙන ඇති ආයතනයක් වන ‘විෂන් කෙයා’ එකමුතුවෙන් මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තයට යළි පණ දී එය අනාගත පරම්පරාවට දායාද කරන්න. ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ගුණසෝම නවරත්න මහතාට එතෙක් පැවැති කම්හල වෙනුවට මෙම කුඩා කර්මාන්ත ශාලාව ඉදිකර දීම සහ අවශ්‍ය සියලුම තාක්ෂණ ආධාර ලබාදීම සිදුකරනු ලැබුවා.

මෙම කුඩා කර්මාන්තශාලාවේ නිපදවනු ලබන දියතරිප්පු ඇස් කණ්ණාඩි අලෙවි කර දීමට විෂන් කෙයා ආයතනය මැදිහත්ව සිටිනවා. ඉදිරියේදී ඔවුන්ගේ ඇස්කණ්ණාඩි ප්‍රදර්ශනාගාරවලින් මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලැබේවි.

දැන් ගුණසෝම නවරත්න මහතාගේ පුතා වන රොෂාන් නවරත්න තරුණයා මෙම කර්මාන්තයේ ඉදිරියට කරගෙන යාමට සූදානම්. ඔහු තවත් තරුණයන් කිහිපදෙනෙකු සමග මෙම කුඩා කර්මාන්ත ශාලාවේ අද සිටම වැඩ ආරම්භ කරනවා. මෙම කටයුත්තෙන් අපි බලාපොරොත්තු වන වැදගත්ම දේ මෙම පාරම්පරික කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය ඉදිරි පරම්පරාවන් සඳහා ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීමයි.”

(Lanka Leads)