රටේ පවතින උග්‍ර මූල්‍ය අර්බුදය නිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහනේ ආධාරය ලබාගැනීමට ආණ්ඩුව සූදානම් නමුත් දැනට සකස් කර ඇති ගිවිසුමට එකඟ විය නොහැකි බවත් ඊට සංශෝධන එක් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"එම්සීසී ගිවිසුම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ ස්වෛරීත්වයට හානිකර වගන්ති ඇතුළත් වන බවට අතුරු කමිටුව නිර්දේශ කරලා තිබෙන නිසා එය අත්සන් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ඒ තීන්දුව ගැනීම සඳහා අදාල වූ අතුරු කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.
එකක් මේ ගිවිසුම විනිවිදභාවයෙන් තොරව අත්සන් කරන්න කටයුතු නොකිරීම. දෙක ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට පටහැණි වන වගන්ති මේ ගිවිසුමේ අන්තර්ගත වී තිබීම. තුන ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑම් ගෙනදිය හැකි වගන්ති එහි ඇතුළත්ව පැවතීම.
මේ ගිවිසුම සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම්. මක්නිසාද යත් මෙය ඇමරිකා එක්සත් ජනපදය විසින් සකස් කරලා ඉදිරිපත් කළ එකක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ රජය විසින් සකස් කරලා ඉදිරිපත් කරපු ගිවිසුමක්, ඔවුන් සමඟ සාකච්ඡා කරලා තමයි මෙය ඇතිකර ගෙන තියෙන්නෙ. ඒ නිසා රටේ පවතින උග්‍ර ප්‍රාග්ධන හිඟය යටතේ විදේශ ආධාරයක් අපට ලැබෙනවා නම් - ආපසු ගෙවන්න නෑ, පොළී අනුපාතයක් නෑ - අපි ඒක ලබාගන්න සූදානම්, ඇමරිකා එක්සත් ජනපදය වෙනස් කරන්න එකඟ වෙනවා නම්.
මහජනයාටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබලා දීලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුව අනුමත කළොත් පමණයි එවැනි ගිවිසුමක් අනාගතයේදීත් ක්‍රියාත්මක වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
(LNw)