Friday, July 04, 2025
Follow Us
විදුලි බල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්!

විදුලිය නිෂ්පාදනය සඳහා පනතින් යම් බාධාවක් ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා එම බාධාවන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇත.

එළඹෙන සතියේදී මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

ඉදිරියේදී ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (05) සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී උක්ත තීරණයට එළඹ තිබේ.

ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඊයේ පැවති එම සාකච්ඡාවේදි අනාවරණය වී ඇත්තේ 2020 වසරේ අප්‍රේල් - මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට බලපෑ හැකි අතර එම අර්බුදය, විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත්, එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2019 -2020 යන කාලසීමාවේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණ වන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීම බවයි.

මෙසේ අමතර ධාරිතාවයක් එක්කළ හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඒ තුළින් පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇතැයිද එහිදී අනාවරණය වී ඇත.

ජාතික විදුලි බල පද්ධතියට අළුතින් විදුලි ධාරිතාවක් එක් නොවීමට ප්‍රධාන හේතුවක් ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කර ඇත්තේ ජාතික විදුලි බල පනතේ බාධාවන් බවයි.

අදාළ පනතේ පවතින යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බව එම නිලධාරීන් පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ වසර 2020 වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කළ යුතු බවත්, ඒ සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයට රජයේ ඉඩම්වලින් තවත් අක්කර 10ක ප්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු බවත්ය.

(LNW)