මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්යාපෘතිය, ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතන සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුමක් යටතේ 2010 වර්ෂයේ සිට පැකේජ 04කින් යුතුව ක්රියාත්මක කර තිබේ.
එම ව්යාපෘතියේ ව්යාපෘති කාල සීමාව 2025-01-01 දින සිට 2027-08-31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම ව්යාපෘතියේ විෂය පථයට පේරාදෙණිය විශ්ව විද්යාල පරිශ්රය ද ඇතුළත් කරන ලෙස එහි උපකුලපති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් පරිදි සිදු කරන ලද ශක්යතා අධ්යයනයක ප්රතිඵල අනුව එම විශ්වවිද්යාලය ද ව්යාපෘතියේ විෂය පථයට ඇතුළත් කර ගැනීමට හැකියාව පවතින බව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්යාපෘතියේ විෂය පථය යටතට පේරාදෙණිය විශ්වවිද්යාලය ඇතුළත් කර ගැනීමටත්, ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 2,000 අතරින් රුපියල් මිලියන 800ක් ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ණය මුදලින් සහ ඉතිරි රුපියල් මිලියන 1,200 ක මුදල දේශීය අරමුදල් වලින් සලසා ගැනීමටත්, ව්යාපෘතියේ කාල සීමාව 2027-12-31 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.