පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 භාවිතා කර +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා 0771167739, 0742756098 යන ජංගම දුරකථන අංක මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිතා කර මේ වන විටත් කිසියම් පාර්ශවයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට හා මුල්‍යමය වංචා සිදුකරන බවට වාර්තා වී තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පාර්ශවය විසින් රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් (APP) නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ ජාතික හැඳුනුම්පතක් සඳහා ඔබගේ තොරතුරු ලියාපදිංචි කර ගන්නා බව පවසමින්, දෙපාර්තමේන්තු නාමය අවභාවිතා කරන බවට අප වෙත තොරතුරු ලැබී තිබෙන බව එහි සඳහන් වේ.
එසේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එවැනි ලියාපදිංචියක් සිදු නොකරන බව ජනතාව වෙත අවධාරණය කරන අතර, එවැනි ජංගම දුරකථන මගින් ලැබෙන ඇමතුම් සඳහා ඔබගේ තොරතුරු ලබා නොදෙන ලෙස කාරුණිකව දන්වා තිබේ.
තවද, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com යනුවෙන් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිතා කරමින් ඔබගේ තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම තොරතුරු ලබා දීමෙන් වලකින ලෙසත් වැඩිදුරටත් දන්වා තිබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඊ ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම් පතක් සඳහා ඒ වන තෙක් කිසිදු ලියාපදිංචියක් සිදු නොකරන බව දන්වන අතර වංචනික පුද්ගලයින්ගෙන් ආරක්ෂා වන ලෙසද මහජනතාව වෙත දැනුම් දී ඇත.