වන සතුන්ගෙන් සිදුවන වගා හානි සහ ජනජීවිතයට සිදු වන හානි කළමනාකරණය කිරීම සඳහා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය මගින් සකස් කර ඇති පුළුල් වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කර තවදුරටත් හඳුනා හඳුනා ගනු ලබන නව යෝජනා ඇතුළත් කරමින් එම වැඩසටහන ක්රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව යෝග්ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්ය කමිටුවක් පත් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මිනිස් වාසස්ථාන සහ වගා භූමි ආශ්රිතව සැරිසරන අලිඇතුන්, වල්ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් වැනි වන සතුන් විසින් සිදු කරනු ලබන භෝග හානි හේතුවෙන් මෙරට ග්රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
එමෙන්ම, ඒ ආශ්රිතව වනජීවී-මිනිස් ගැටුම් හා දේපළ විනාශවීම් බහුලව වාර්තා වන අතර බරපතල අන්දමින් සමාජ හා ආර්ථික ගැටලු උද්ගත වීම ද සිදු ව ඇත. එබැවින්, වන සතුන්ගෙන් සිදු වන වගා හානි සහ ජන ජීවිතයට සිදු වන හානි කළමනාකරණය කිරීම සඳහා මහජනතාව, විශ්වවිද්යාල ප්රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්ය නොවන සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අදාළ අනෙකුත් ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් මත පදනම් ව පුළුල් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශය විසින් සකස් කරනු ලැබ තිබේ.