අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය - 2025(2026), මෙවර පෙබරවාරි මස 17 සිට 26 වන දින තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ද වශයෙන් මුළු අපේක්ෂකයන් 451,463ක් පෙනී සිටීමට නියමිත බවත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ විභාගය) - 2025 (2026) විභාග මධ්‍යස්ථාන 3,545ක් පැවැත්වෙන අතර විභාග කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531 සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බව ඇය සඳහන් කළාය.
පහත සඳහන් කරුණුද මෙහිදී පැහැදිලි කළාය.
- විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපේක්ෂා රෝහල, කෛතඩි නෆීල්ඩ් විශේෂ පාසල පිහිටුවා ඇත.
- විභාගය පැවැත්වීමේ දී අවශ්‍ය ආරක්ෂාව පොලීසිය, ත්‍රිවිද හමුදාව විසින් ලබා දෙන අතර, යම් කිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිරන්තරයෙන් කටයුතු කරනු ඇත.
- විභාගයට පෙනී සිටින සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරිම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ වලංගු රියදුරු බලපත්‍රය භාවිත කළ හැක.
- විභාග මධ්‍යස්ථානයට අපේක්ෂකයන් පැමිණීමේ දී ජංගම දුරකතන, ස්මාර්ට් බෝඩ්, ඉලෙක්ට්‍රොනික උපාංග, ගණක යන්ත්‍ර, මකන දියර සහ සටහන් පොත් ආදිය රැගෙන යාමෙන් වළකින්න.
- මෙම විභාගය සඳහා පෙනී සිටින විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් මීට පෙර අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයට ලක් කර වෛද්‍ය වාර්තා අධ්‍යයනයකින් පසුව අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.
- සියලුම විභාග අපේක්ෂකයින් තමන්ට ලබා දී ඇති කාලසටහන අනුව විභාගය ආරම්භයට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුය.
විභාග නීතිරීතිවලට අනුකූලව විභාග කාර්ය මණ්ඩලය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.