Sunday, February 08, 2026
Follow Us
මහනුවර අද පැය 22ක් ජල කැපේ

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අද (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

පොල්ගොල්ල ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය), වේගිරිය, පල්ලෙමුල්ල නව / පැරණි, යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය, මැදවල (පැරණි )සේවා ජලාශය යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙලඹුගහවත්ත, නුගවෙල, බලනගල, මැදවල (නව) සේවා ජලාශය, ගලගෙදර, මාවතගම යන ප්‍රදේශයේ සඳහා ද මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කෙසේවෙතත් ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.