ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය 1954 වර්ෂයේදී නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇති අතර, එම සබඳතා ස්ථාපිත කර ගත් වසර 72ක් සම්පූර්ණ වීම මෙම වර්ෂයේදී සමරනු ලබයි. මෙම කාලය තුළ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික හා පුද්ගල සබඳතා මඟින් දෙරට අතර සබඳතා ක්‍රමයෙන් ශක්තිමත් වී, වත්මන් අවධියේදී සක්‍රීය හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇති බව රජය පවසයි.
දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, පාරිසරික, කොන්සියුලර් සහ සංස්කෘතික යන අංශයන්හි දෙරට අතර සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණුයි.