Tuesday, December 23, 2025
Follow Us
සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහනේ ගැටලු විසඳමින් ක්‍රියාත්මක කිරීමට පියවර
සුරක්ෂා සිදු රක්ෂණාවරණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන ඊට සංශෝධන ඇතුළත් කරමින් 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමටත්  ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
 
විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමඟ ගිවිසුම්ගත වී ඇත. එමඟින්, රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය, අනතුරු රක්ෂණාවරණය සහ ජීවිත රක්ෂණාවරණය යන කාණ්ඩ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. 
 
මේ සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරනු ලැබේ.
  • 2025/26 වර්ෂයට අදාළව 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026‑08‑31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
  • දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු ලබන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000/- සිට රුපියල් 240,000/- ලෙස සංශෝධනය කිරීම.
  • කොඳුඇටපෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary spherocytosis සහ Sickle cell anemia යන රෝග 5 අලුතින් එක් කිරීම.
  • 2025‑09‑01 දින සිට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම.