කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.
මේ හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ ගමන් කරන වාහන දැඩි විමසිලිමත් වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි. ඉකුත් දින වල ඇති වූ නාය හේතුවෙන් මේ වන විට එක් මං තීරුවක් පමණක් විවෘත කොට ඇති බැවින් රිය ධාවනයේදී දැඩි විමසිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරයි.
උඩුදුම්බර, හුන්නස්ගිරිය අශිතව අද දිනය පුරා ධාරානිපාත වැසි ඇද හැලුණු අතර මේ හේතුවෙන් පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් තිදෙනෙකු ඊට යට වී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව බේරාගත් තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු උඩුදුම්බර රෝහලට සහ එක් අයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
එම කලාපයේ පාසලක් තුළ පවත්වාගෙන ගිය සුරක්ෂිතාතා මධ්‍යස්ථානයකට නාය අවදානම එල්ල වී ඇති බැවින් එහි සිටි සියලු පිරිස් වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කළ බව ද සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.