Friday, November 28, 2025
Follow Us
උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බව ඇය සඳහන් කළා ය.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. 

ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 

එමෙන්ම 12 ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මෙහිදී ඇය වැඩිදුරටත් පැවසුවාය.