Monday, November 24, 2025
Follow Us
රණවිරු දෙමාපියන්ට ලබාදෙන "මා පිය රැකවරණ දීමනාව"  අත්හිටුවීමේ තීරණයක් නැහැ
රණවිරු දෙමාපියන්ට ලබාදෙන "මා පිය රැකවරණ දීමනාව" අත්හිටුවා ඇති බවට වන ප්රචාරය සාවද්ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කරයි.

 

මාතෘභූමියේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම වෙනුවෙන් ක්රියාන්විත රාජකාරියේදී තම ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත "මා පිය රැකවරණ දීමනාව" ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකරනු ලබයි. එම දීමනාව අත්හිටුවා ඇති බවට අසත්ය ප්රකාශයක් මේ වනවිට ඇතැම් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා සමාජ මාධ්ය තුල ප්රචාරණය වන අතර, එම තොරතුර සම්පුර්ණයෙන් සාවද්ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කර සිටී.
 
ආරක්ෂක නියෝජ්ය අමාත්ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) අද (නොවැ 24) දින පාර්ලිමේන්තු සභා වාරය අමතමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය. මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට, එක් අයෙකුට රු. 750.00 බැගින් වූ මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා දීමනාව ලබාගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට දෙවරක් අදාළ ජීව දත්ත සහතිකය (Life Certificate) අනිවාර්යයෙන්ම රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම සහතිකය එම දෙමව්පියන් පදිංචි ග්රාම සේවා වසමේ ග්රාම සේවා නිලධාරි විසින් සහතික කර රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කළ යුතුය.
 
දැනට 32867ක් වූ සුදුසුකම්ලත් ප්රතිලාභීන් අතරින් මෙම වසරේ පළමු අඩවසර වෙනුවෙන් ආසන්න වශයෙන් ප්රතිලාභීන් 17636 දෙනෙකුගේ ජීව දත්ත සහතිකය රණවිරු සේවා අධිකාරිය වෙත නිසි පරිදි ලබා දී ඇති අතර, මෙම වසරේ ජුලි මාසයෙන් ඇරඹි දෙවන අඩවසර සඳහා සහතිකපත් 4727ක් පමණක් මේ දක්වා ඉදිරිපත් වී තිබීම හේතුවෙන් ඉතිරි ප්රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම නිසා මෙම මාසික දීමනා ගෙවීමට නොහැකි වී ඇත.
 
යම්හෙයකින් ප්රතිලාභියෙකු මරණයට පත් වුවහොත් ඒ පිළිබඳව රණවිරු සේවා අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස සහ මරණ සහතික ඉදිරිපත් කිරීමට ඥාතීන් වෙත පොදු උපදෙස් ලබා දී ඇති නමුත්, ඒ පිළිබඳව ඥාතීන් දක්වන උනන්දුව ඉතාම අල්ප බැවින් අදාළ ප්රතිලාභීන් මියගිය බව දැන ගැනීමට නොහැකි වීමෙන් මෙම දීමනාව ගෙවීමේදී බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. මෙම දීමනා වෙනත් අයවළුන්ට ලබාගත නොහැකි අතර, කිසියම් මියගිය පුද්ගලයෙකු වෙත මුදල් බැරවීමක් සිදුවුවහොත් එය රාජ්ය විගණනයකදී, රාජ්ය මුදල් අවභාවිතාවක් ලෙස නිරීක්ෂණය වීමෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. එබැවින් මේ සම්බන්ධව රණවිරු සේවා අධිකාරිය දැනුවත් කිරීමටත්, මරණ සහතික ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමෙන් සහාය දක්වන ලෙසත්, එම දෙමාපියන්ගේ ළඟම ඥාතීන් වෙත දැනුම් දී සිටි.
 
මීට අමතරව, රණවිරු සේවා අධිකාරිය මඟින් දිවයිනේ සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන්, එම ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් බල ප්රදේශ තුළ පදිංචි සියලුම ප්රතිලාභීන්ගේ විස්තර ඉදිරිපත් කොට, ඔවුන් දැනුවත් කිරීමට සහ ග්රාම නිලධාරීන් මාර්ගයෙන් හැකි කඩිනමින් ඔවුන්ගේ ජීව දත්ත සහතික ලබාදීමේ වැඩපිළිවෙලක් සකස්කර දෙන මෙන් ඉල්ලීමක්ද කර තිබෙන අතර, මේ වන විට එයටද යහපත් ප්රතිචාර ලැබෙමින් පවතී. දිස්ත්රික් වැඩසටහන් නිලධාරීන් මාර්ගයෙන් හා දිවයින පුරා විහිදි රණවිරු සංසද 264ක් මාර්ගයෙන්ද ප්රතිලාභීන් දැනුවත් කොට ඇත.
 
තවද, මෙතෙක් ජීව දත්ත සහතිකය ලබා නොදුන් රණවිරු දෙමාපියන් කඩිනමින් ඔබ පදිංචි ප්රදේශයේ ග්රාම සේවා නිලධාරී වෙතින් ජීව දත්ත සහතිකය ලබාගෙන සම්පුර්ණ කොට රණවිරු සේවා අධිකාරිය වෙත ලබාදීමෙන් තම දීමනා ලබා ගැනීමේ නෛතික අයිතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ප්රතිලාභී රණවිරු දෙමව්පියන් වෙත දැනුම් දෙනු ලබයි.
 
එමෙන්ම නිවැරදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන ලෙසත්, සදාචාරාත්මක මාධ්යකරණයේ නිරත වන ලෙසත්, ආරක්ෂක අමාත්යාංශය සියලු ජනමාධ්ය හා සමාජ මාධ්ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.