නැවත භාවිතා කළහැකි ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට ආහාරපාන ලබාදීම සඳහා භාවිතා කරනු ලබන බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් අනිවාර්යය කෙරේ
කුඩා දරුවන් සහ පාසල් ළමුන් විසින් බහුලව භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබාදෙන බෝතල් (Feeding Bottles) සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයක පියවරක් ලෙස සිදුකරන ලද රසායනාගාර පරික්ෂණවලට අනුව, ඒවායේ බිස්පෙනෝල් A (BPA) සහ තැලේට් (Phthalates) වැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත මට්ටම්වලින් පවතින බවට අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය, කැළණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, බියුරෝ වෙරිටාස් ආයතනය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර සංවිධාන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු නියාමන ආයතන හා විද්වත් පාර්ශව සමඟ සිදුකළ සාකච්ඡාවල දී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ දත්ත මඟින් මෙම තොරතුරු තහවුරු වූ අතර, මෙම ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික්වල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය දරුවන්ගේ ආහාරපාන සමඟ එකතුවී ශරීරගත වීම හේතුවෙන්, දරුවන්ට හෝමෝන ගැටළු, පිළිකා, ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ ගැටළු, මොළය හා වර්ධනය හා සම්බන්ධ ගැටළු සහ තවත් බෝ නොවන රෝග විශාල ප්‍රමාණයක් ඇති වීමට හේතුවන බව අනාවරණය විය.
ඒ හේතුවෙන්, ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදන තුළින් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බිස්පෙනෝල් A (BPA) සහ තැලේට් (Phthalates) වැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වෙළඳපොළට ඇතුළුවීම පාලනය කරමින්, සමස්ථ පාරිභෝගික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 (1) වගන්තිය යටතේ, පහත සඳහන් ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය වන නිෂ්පාදන, නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම හෝ විකිණීම ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන්ට (SLS) අනුකූළ විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විධාන කරමින් විධානයක් නිකුත් කර ඇත.
(i) දියරමය පාන රැගෙන යාමට එක් වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය - SLS 1616
(ii) ළදරුවන්ට ආහාරපාන ලබාදීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය - SLS 1306
එම විධානයට අනුව,
* දේශීයව නිෂ්පාදනය කරන ලද ඉහත සඳහන් භාණ්ඩ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන ලද SLS ලාංඡනය දැරිය යුතුය.
* ඉහත සඳහන් භාණ්ඩ ආනයනය කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් පරීක්ෂා කර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූළ බව සහතික කරගත යුතු ය.
මෙම විධානය 2026 අප්‍රේල් 01 වන දින සිට බලාත්මක වන අතර, සියළුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් මෙම විධානයට අනුකූළ විය යුතු ය. මෙම බලාත්මක කිරීමේ දිනයෙන් පසුව මෙම විධානය උල්ලංඝනය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කෙරේ.
එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පහත සඳහන් විධානය ද නිකුත් කර ඇත.
සිලි සිලි බෑග් නොමිලේ නිකුත් නොකළ යුතු බවට වූ විධානය
සිලි සිලි බෑග් භාවිතයෙන් පරිසරයට හා පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපළවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබ නීතිපතිතුමාගේ ද උපදෙස් ලබාගෙන සිලි සිලි බෑග් නොමිලේ නිකුත් නොකළ යුතු බවට වූ විධානයක් 2025.11.01 සිට බල පැවැත්වෙන පරිදි 2025.10.01 දින නිකුත් කරනු ලැබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සියලුම පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටි.