ධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (10) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා රට පුරා මධ්‍යස්ථාන 3,663කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ.
හෙට (11) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධාන කිරීම සහ එම පන්ති මෙහෙය වීම, විෂයානුබද්ධ දේශනා, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා හැරියොත් ඒ තැනැත්තා හෝ ආයතනයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
විභාග නියෝග කඩ කරන යම් අයෙක් වේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම තිබෙන පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය. 0112421111 පොලිස් මූලස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, 1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය, 0112784208 / 0112784537 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව යනාදි දුරකතන අංකයන්ට විභාග පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.