Thursday, January 30, 2025
Follow Us
කසළ ප්‍රවාහනය විධිමත් කිරීමට ජපානයෙන් ප්‍රදානයක්

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක් ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟත්වය පළ කර ඇති අතර එම මුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත්පාලන ආයතනයන් හි කසළ කළමනාකරණ ධරිත්වය වැඩි කිරීමට Garbage Compactors 28ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ බව අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ  මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව පිරිසිදු තිරසාර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පත් කිරීම Clean Sri Lanka වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලැබේ.

ඒ සඳහා වැඩි දියුණු කළ කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම Clean Sri Lanka දැක්ම ළඟා කර ගැනීමට ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8ක් සහ උතුරු පළාත සඳහා 06ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය.

ඒ අනුව, ජපාන ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.