Friday, November 22, 2024
Follow Us
ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන්

2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා දීම සඳහා අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණය නොමිලයේ මෙරටට ලබා දීමට චීන රජය එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. මෙම මස අග වනවිට එහි පළමු තොගය මෙරටට ලැබෙන බවත්, ලබන මාසයේ ඉතිරි තොගය ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඊළඟ පාසල් වාරය ආරම්භ වීමට පෙර නිසි වේලාවට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුන්ට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාරගැනීම සඳහා අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය, වශයෙන් අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.