Sunday, September 08, 2024
Follow Us
සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුම්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සංචාරක අමාත්‍යාංශය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ‌වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යන ආයතන සමඟ සහයෝගීතාවයෙන් ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම පසුගියදා (23) කොළඹ දී සිදු කෙරිණ.

ගිවිසුම් යටතේ මුල පිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් රුපියල් මිලියන 113 ක් වෙන් කර ඇත.

අවබෝධතා ගිවිසුම්වල දක්වා ඇති ප්‍රධාන මුල පිරීම් අතරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැලසීම අරමුණු කර ගනිමින් දඹුල්ල, බණ්ඩාර‌‌වෙල, පොතුවිල් සහ තිස්සමහාරාම රෝහල් තුළ සංචාරකයන් සඳහා විශේෂිත ගෙවන සෞඛ්‍ය වාට්ටු සංවර්ධනය කිරීම සඳහ ගිවිසුම්ගත වීම සිදු කරනු ලැබීය. 

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) සමඟ එක්ව සීගිරියේ සංචාරක ප්‍රවාහනය සඳහා විදුලි කරත්ත සැපයීම මෙන් ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම් මගින් දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා හඳුනාගත් වෙරළබඩ ප්‍රදේශවල සහ යාල ප්‍රධාන ආකර්ෂණ ස්ථාන, එනම් සංචාරක කලාප සඳහා සනීපාරක්ෂක සහ නාන පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කරනු ලැබී ය.

සංචාරකයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට බස්රථ 250 ක් සමඟ විදුලි හා දෙමුහුන් වෑන් රථ 750 ක් ආනයනය කිරීමට අප්‍රේල් මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. 

ඒ අනුව මෙම උත්සවයේ දී සංචාරක කර්මාන්තය සඳහා වාහන ආනයනයට අදාළ පළමු වාහන බලපත්‍ර 10 සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදුවිය.

මෙම අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවට පැමිණෙන අමුත්තන්ගේ සමස්ත අත්දැකීම වැඩි දියුණු කරමින් සංචාරක ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සහ ශක්තිමත් කිරීම සහතික කිරීම සහ වැඩි සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා වැදගත් පියවරකි.