Sunday, September 08, 2024
Follow Us
කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත්කර කෙරිණි.

 ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කරන ලදී.

2021 අගෝස්තු මස 16 වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 කි. මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 3599 ක් වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, යදාමිණි ගුණවර්ධන මහතා, හිටපු ඇමතිනි සුනේත්‍රා රණසිංහ මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා, හන්ගේරියානු බෙටොනට්පිටෝ සමාගමේ නේවාසික නියෝජිත කරොලි සින්ගල් මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා ඇතුළු පිරිසක් එක් විය.