Tuesday, July 02, 2024
Follow Us
“උරුමය” යටතේ මොණරාගල ජනතාවට ඉඩම් ඔප්පු 41,960ක්
  • වැඩිම ඔප්පු ප්‍රමාණයක් ප්‍රදානය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25ක්.
  • ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම අරමුණයි.
  • උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති.

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර රාජධානියට සහල් සැපයු වෙල්ලස්ස 1818 සටනින් පසු විනාශ වී ගිය බවයි. පසුව විවිධ ආණ්ඩු යටතේ මෙම පළාත සංවර්ධනය වුවද ජනතාවට ඉඩම් අයිතිය හිමි නොවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට බත සැපයූ ගොවි ජනතාවට කෘතවේදීත්වය පිරිනමින් එම වගකීම වත්මන් රජය යටතේ ඉටු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද සඳහන් කළේය.

එසේම උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහකද නිරත විය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මට පෙර කථා කළ කතිකයන් පැවසු අන්දමට මහනුවර රාජධානියට අවශ්‍ය සහල් ලබා දුන්නේ මෙම වෙල්ලස්ස ප්‍රදේශයෙන්. නමුත් 1818 සටනින් පසුව වෙල්ලස්ස සම්පුර්ණයෙන් විනාශ වුණා. මෙහි ජිවත්වු ජනතාව අනෙකුත් ප්‍රදේශවලට ගියා.

ඉන් පසුව මෙම මොණරාගල දිස්ත්‍රික්කය නිර්මාණය වුණේ 1960 වසරේදීයි. 1977 මැතිවරණයෙන් පසුව මම මෙම ප්‍රදේශයට එන විට මෙම පළාත ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. 1977න් පසුව විවිධ ආණ්ඩු යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ දියුණුව ආරම්භ වුණා. පිට පළාත්වලින් පැමිණි ජනතාව මෙහි පදිංචි වුණා. නිවාස ඉදි කෙරුණා. ඒ සමඟ මෙම ප්‍රදේශය නාගරිකරණය වුණා. මේ ප්‍රදේශයේ ජනතාවගේ උත්සාහයෙන් මොණරාගල කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස දියුණු වුණා. මෙය ඔබේ මුතුත් මිත්තන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනැඟුණු ප්‍රදේශයක්. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය හිමිව තිබුණේ නැහැ. මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ රට වෙනුවෙන් කළ සේවයට නිසි සැලකිල්ලක් හිමි වුණේ නැහැ. නමුත් අප මොණරාගල ගොවි ජනතාව වෙනුවෙන් කෘතවේදිත්වය පිරිනමමින් මෙම සින්නකර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ අප ඉතාමත් සතුටු වෙනවා.

මොණාරාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට නම් සින්නකර ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. ඇතැම් අය කිව්වා මේ ඉඩම් අයිතිය ජනතාවට ලබා දෙන්න එපා කියලා. ඇතැමුන් අධිකරණය ඉදිරියටත් ගියා. නමුත් අපි ඒ සියලුදේට මුහුණ දී අද ජනතාවට තමන්ගේ ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

මේ ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සියලුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතුයි. මෙම ප්‍රදේශවල කෘෂිකර්මය දියුණු කරමින් අප කඩිනමින් අපනය ආර්ථිකයට ගමන් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. වරාය සහ ගුවන් තොටුපෙළ යන දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

ඒ නිසා උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම පමණක් නොව, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට ප්‍රවේශ පත්‍රයක් ලබාදීමද උරුමය වැඩසහන හරහා සිදු වෙනවා. ඉදිරි වසර 30, 40 වන විට ලෝකයට අවශ්‍ය ආහාර සපයා ගැනීම විශාල ගැටලුවක් වෙනවා. අප එම ආහාර සැපයීම සඳහා සුදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් සම්පූර්ණ කෘෂිකර්ම රටාවක් මෙම පළාත් තුළ ඇති කළ යුතුයි.

ඒ වගේම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල‍ විශාල ආයෝජන කලාප ඇති කිරිමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ලේ සිට අම්පාර දක්වා විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉදිරි වසර 20 – 30 වන විට එම කටයුතු සිදු කළ යුතුයි. ඒ වන විට අප නොසිටියත් අපේ අනාගත පරපුර වෙනුවෙන් එම කටයුතු කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ සමඟ වැල්ලවාය විශාල දියුණුවක් ලබනවා. වැල්ලවායෙන් තමයි උඩරටට ප්‍රවේශ වන මාර්ගය තිබෙන්නේ. ඇල්ල, බිබිල මාර්ගයෙන් පස්සරට මෙම දියුණුව ගමන් කරනවා.

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ දී මතුව තිබෙන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. කෙසේ හෝ අප මෙම වැඩපිළිවෙළ කඩිනම් කළයුතුයි. මේ ඔප්පු ලැබීමට සුදුසුකම් ලැබූ අයගේ නාම ලේඛනය සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම තිබෙනවා. ඔවුන්ව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවා ගැටළු තිබෙනවා නම් ඒවා විසඳමින් මෙම ඔප්පු ලබාදීම කඩිනමින් අවසන් කරන ලෙස මම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඉල්ලා සිටිනවා.

මෙම කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාටත් එක් විය හැකියි. මෙම මාසය තුළ මෙම කටයුතු අවසන් කළයුතුයි. වැඩිම ඉඩම් ඔප්පු ප්‍රමාණයක් ලබා දෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25 ක් ලබාදීමට මම කටයුතු කරනවා. මෙම වැඩසටහන් දෙකෙන්ම ජයග්‍රහණය කරන්නේ මේ රටේ සින්නකර ඉඩම් ඔප්පු ලබන ජනතාව බව කිවයුතුයි. මේ ලබන ඉඩම් අයිතිය සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන ලෙස ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.