Tuesday, July 02, 2024
Follow Us
වව්නියාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැව් 07ක ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා (7) ආරම්භ විය.

ඒ අනුව වව්නියාව, ආසිකුලම් හි ඉලුප්පායිකුලම් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතාගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

මීට අමතරව කළුකුන්නාමඩුව වැව, නිත්තිකුලම, කන්කන්කුලම, ක්‍රිස්තාවකුලම්, මුසල්කුත්තිකුලම් යන වැව් වල ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ විය.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් සහ අවුරුදු ව්‍යාපෘතියකි. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍යාධාර සපයනු ලබයි.

ව්‍යාපෘතිය මඟින් කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, වව්නියාව, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්ක වල වැව් 183ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන්ගේ දිළිඳුකම පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ දේශගුණ විපර්යාස සදහා ඔරොත්තුදීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.