Tuesday, September 01, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු ගැන දැනුම් දීමක්

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිට නියමිත දිනයට නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය මෙම චක්‍රලේඛය මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

ආයතන සංග්‍රහයට අනුව විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා කිරීමට නොහැකි වු රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත සහ වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් කර අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මෙතෙක් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයාමේ නිවේදන නිකුත් කරන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.