Monday, April 29, 2024
Follow Us
උත්සව සමයේ සියලු රෝහල්වල රෝගී සත්කාර සේවා කාර්යක්ෂමව
උත්සව සමයේ සෞඛ්ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සියලු රෝහල් බලධාරින්ට උපදෙස් දෙන ලදැයි සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා පවසයි.

උත්සව සමයේ හදිසි අනතුරු, ආහාර විෂවීම් මෙන්ම බෝ නොවන රෝගවලට (දියවැඩියාව, හෘද වස්තුව ආශ්රීත රෝග) ගොදුරුවන ප්රමාණය ඉහල යාම සාමාන්ය තත්ත්වයකි.

එමනිසා මෙම රෝගීන්ට කිසිදු ප්රමාදයකින් තොරව ප්රතිකාර සේවාවන් පවත්වා ගෙන යාමට ද සෞඛ්ය අමාත්යාවරයාගේ උපදෙස් පරිදි අවශ්ය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්ය ලේකම්වරයා පවසයි.
එමෙන්ම හදිසි ප්රතිකාර සේවාවන් වලදී අත්යවශ්ය ගිලන් රථ සේවාවන් ද පැය විසි හතර පුරාම විශේෂ අවධානය යටතේ මෙහෙයවීමට ද කටයුතු යොදා තිබේ.
 
උත්සව සමයේ ශ්රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්රීඩා ඉසව් වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා වන මාර්ගෝපදේශ මාලාවක් ද පසුගියදා සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් එළිදක්වනු ලැබීය.
 
උත්සව සමයේ මහජනතාවට රෝගී සත්කාරක සේවාවන් ලබා දීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ද ලේකම්වරයා ශ්රී ලංකාවේ දෙවන ජාතික රෝහල වන මහනුවර මහ රෝහලේ පැවැති රෝගී සත්කාරක සේවා පිලිබඳ විශේෂ සාකච්ඡාවක දී සෞඛ්ය කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටියේය.