Saturday, July 27, 2024
Follow Us
ඇතැම් අධිකරණ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන්

ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වාණිජමය කාර්යයන් සම්බන්ධයෙන් වන විෂය පථයට අදාල කරුණු නීති විෂය තුළ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා කරනු ලබන අතර එවැනි කරුණු සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී සැලකිය යුතු පිරිවැයක් දැරීමට සහ කාලයක් ගත කිරීමට සිදුවන බව රජය පවසයි.

ඒ හේතුවෙන් වාණිජමය ආරවුල් සමථයකට පත් කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි ද අහිතකර අන්දමින් බලපානු ලබන බව රජය කියයි.

මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් හඳුනාගනු ලබන අධිකරණවල සියලු කාර්යයන් හෝ නිශ්චිතව දක්වා ඇති වාර්තා සහ නීති කෘත්‍ය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවසර ලබාදීමේ විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24(4) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය මත අධිකරණ විෂය බාර අමාත්‍යවරයා විසින් නිකුත් කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.