Thursday, November 28, 2024
Follow Us
මහාචාර්ය සේනක බිබිලේ  අනුස්මරණ මුලික රෝහල A ශ්‍රේණියේ  මූලික රෝහලක් කිරීමට යයි

බිබිල, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහල A මුලික ශ්‍රේණියේ රෝහලක් බවට පත් කිරීමට කඩිනමින්  පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා  මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල  සහ බිබිල සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් .

මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, විශේෂ සත්කාර ළදරු ඒකක, ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අංශ අමාත්‍යවරයා ප්‍රධාන  නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

රෝහල් නිරීක්ෂණ චාරිකාවලින් අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට ද කටයුතු කළේය.

එහිදී, බිබිල මහාචාර්ය සේනක බිබිලේ මුලික රෝහල මේ වන විට B ශ්‍රේණියේ මුලික රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රදේශයේ  ස්වාමීන්වහන්සේලා එම රෝහල A ශ්‍රේණියේ මුලික රෝහලක් බවට පත් කර දෙන ලෙසට ඉල්ලීමක් කළේය

එයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා  බිබිල රෝහල A ශ්‍රේණියේ මුලික රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව පැවසීය. 

එමෙන්ම  මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට හා බිබිල, මහාචාර්ය සේනක බිබිලේ මුලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබා දීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා රෝහල්වලට අවශ්‍ය මානව සම්පත ද ලබා දීමට කටයුතු කරන බව  පැවසීය. 

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර නවීකරණය කර නවීන වෛද්‍ය උපකරණ සවිකර ස්ථාපිත කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ද පැවසු අමාත්‍යවරයා රෝහලේ ඉදි වෙමින් පවතින ශල්‍යාගාර පහසුකම් සහිත ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව  මෙහිදී අවධාරණය කළේය.

රෝහල් පින්තාරු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව පැවසු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව විශිෂ්ට මානව සම්පතක් සිටින බවත්,  භෞතික සම්පත් ද   අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බවද පෙන්වා දුන් අතර මෙරට ග්‍රාමීය ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය මානව සම්පත මෙන්ම භෞතික සම්පත් හා වෛද්‍ය උපකරණ ලබා දීමට තමන් නොපැකිළිව කටයුතු කරන බව පැවසීය.

මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබා දීමේ  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වැඩපිළවෙළට සමගාමීව මෙම නිරීක්ෂණ  චාරිකාව සිදු කෙරිණි.