Thursday, November 28, 2024
Follow Us
වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු ඇමැතිවරයාට ඉදිරිපත් කරයි

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් KPMG ආයතනය විසින් සිදු කළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද (15) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඉදිරිපත් කරන ලැබුණි. 

2022 වසරේ අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික පරීක්ෂණය සිදු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබිණ.

ඒ අනුව KPMG ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කළ පරීක්ෂණට අනුව,

1. 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කර ඇති බව ද, ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බව ද

2. 2022 වසරේ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවීමක් ඇති වී ඇති බව ද

3. 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුව ඇති බව ද 

4. පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි මත මෙහෙයුම් සිදුවන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බව නිරීක්ෂණය වී ඇත. 

මෙහි සම්පූර්ණ පරීක්ෂණය වාර්තාව එළඹෙන සතියේ දී KPMG ආයතන විසින් ලබා දීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට ද, පාර්ලිමේන්තුවට ද, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.