බන්ධනාගාරගත රැඳවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (12) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් කරන ලදී.
අවබෝධතා ගිවිසුම තුළින් සියලු බන්ධාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීමට මෙරට ව්‍යවසායකයින්ට, කර්මාන්තකරුවන්ට වැඩි අවස්ථාවක් හිමි වන අතර, කර්මාන්ත තුළ පුහුණුව ලබන රැඳවියන් සදහා කාර්මික සංවර්ධන මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහතික පත්‍ර පිරිනමනු ලබයි.
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඩුවම් විදින කාලය වඩාත් අර්ථවත්ව ගත කිරීම, ඔවුන්ගේ බන්ධනාගාරගත කාලය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම, බන්ධනාගාරයෙන් නිදහස් වු පසුව තමන්ගේම කර්මාන්තයන් සිදු කරමින් කටයුතු කිරීම සදහා රැඳවියන්ට අවස්ථාව ලබාදීම මේ තුළින් සිදු වෙයි.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අදහස් පළ කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මෙසේ සඳහන් කළේය.
බන්ධනාගාර තුළ දැනට රැඳවියන් විසින් නිරත වන කර්මාන්ත කටයුතු සඳහා මේ තුළින් තවත් ශක්තියක් ලැබෙනවා. මේ වන විට රැදවියන් එකොළොස් දහසක් පමණ බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන්ගෙන් පන් දහසක් පමණ මේ වන විට විවිධ කර්මාන්තයන්හි නියැලී සිටිනවා. නව ගිවිසුම අත්සන් කිරීම තුළින් ඉතිරි හය දහසත් කර්මාන්ත කටයුතු සඳහා යොදවා ගත හැකියි. මේ තුළින් බන්ධනාගාරගත රැඳවියාට මෙන්ම රටටත් විශාල වාසියක් ලැබෙනවා. රැඳවියන් බන්ධනාගාරගතව සිටින කාලය තුළ ඔවුන් වෙනුවෙන් රජය ඔවුන් වෙනුවෙන් දරනු ලබන වියදම වෙනුවෙන් කිසියම් මුදලක් උපයා දිමේ හැකියාව මේ තුළින් ලැබෙනවා.
එමෙන්ම බන්ධනාගාරයෙන් නිදහස් වු පසුවත් ඔවුන්ට පුහුණුව ලැබු කර්මාන්තයෙහි කටයුතු කරමින් සමාජයට වැඩදායී පුද්ගලයෙක් විය හැකියි. බන්ධනාගාරයේ ගත කරනු ලබන කාලය අර්ථවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. කාර්මික සංවර්ධන මණ්ඩල විසින් හදුන්වා දෙන කර්මාන්ත කටයුතුවල නිරතවන රැඳවියන් වෙනුවෙන් සහතික ලබා දීමට ද කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.