Thursday, November 28, 2024
Follow Us
යුද හමුදාවේ 1450කට උසස් වීම්

76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයින් 1239 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී ඇත.

අදට(04)යෙදෙන 76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 211 දෙනෙකු සහ සෙසුනිලයන් 1239 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 02 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලයට (උපකරණ පාලක නිලධාරීන් ඇතුළුව), ලුතිතන් නිලයේ නිලධාරීන් 13 දෙනෙකු කපිතන් නිලයට (උපකරණ පාලක නිලධාරීන් ඇතුළුව) දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස්වීම් ලැබූහ.

නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 49 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 135 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 170 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 364 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 330 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී සහ මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ.