Monday, April 29, 2024
Follow Us
පසුගිය වසරේ නියඟයේ වගා හානි සඳහා රුපියල් කෝටි 100ක්
2023 යල කන්නයේ දී මෙරටට බලපෑ දැඩි නියඟයෙන් වී වගාවට සිදුවූ හානිය නිසා වලව කළාපය, කුරුණෑගල හා දකුණු පළාත ඇතුළු ප්රදේශ ගණනාවක අක්කර 65,000ක් හානියට පත්විය.

මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වගා හානි සිදු වී මාස දෙකක් තුළ ‌ ලබා දීම අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්රික්කයේ නියඟයෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි වන්දි ලබා දීම පසුගියදා (19) වාරියපොල නාගරික ප්රජා ශාලාවේ දී සිදු විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්ය අමාත්ය ඩී.බී. හේරත්, ජනමාධ්ය රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ වී වගා බිම් ප්රමාණය අක්කර 65,000කි. සිදුව ඇති හානි තක්සේරු කිරීම් අනුව ගොවීන් 64,000ක් සදහා ගෙවීමට තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 1000 කි.මේ වනවිට එම සමස්ත මුදලින් රුපියල් මිලියන 562ක් ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කරයි.
පසුගියදා (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්රික්කයේ වගා හානි සිදු වූ ගොවීන් සදහා වන්දි පිරිනැමීම සිදු වූ අතර ඊයේ දිනය තුළ බෙදා දෙන ලද වන්දි මුදල් ප්රමාණය රුපියල් මිලියන 25කි.
මෙහිදී අදහස් පළ කළ අමාත්යවරයා මෙම වන්දි මුදල් ලබා දීම 2018 වසරේ තමන් කෘෂිකර්ම අමාත්යවරයාව සිටිය දී බෝගවර්ග හයක් සඳහා කිසිදු රක්ෂණ වාරිකයක් ගොවීන්ගෙන් අය කර ගැනීමකින් තොරව සකස් කළ වන්දි ව්යාපෘතියක ප්රතිපලයක් බව ද කීය.
මෙමගින් වගා හානි සිදුවන අක්කරයකට රුපියල් 40,000 බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් නොමිලයේ ලබා දීම ආරම්භ කළ බව ද අමාත්යවරයා කීය.
නමුත් සියලු ගොවීන් කන්නයකට මුදලක් ගෙවා රක්ෂණ දායකත්වය ලබා ගන්නේ නම් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ලබා ගැනීමට හැකියාව ඇති බව ද සදහන් කළේය. ඒ සඳහා ගොවි මහතෙකුට අක්කරයක් සඳහා එක් කන්නයකට ගෙවීමට සිදුවන්නේ රුපියල් 6400ක් පමණි.
ඉදිරි දේශගුණ විපර්යාස නිසා වගාවන්ට හානි සිදුවිය හැකි අවස්ථාවන් වැඩි වී තිබේ. මේ නිසා වගාවන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ද අමාත්යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම මෙවර මහ කන්නයේ ගංවතුර නිසා විශාල හානියක් වී වගාවට සිදු වී ඇත. එම වගා හානි තක්සේරු කිරීම ද වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්යවරයා සඳහන් කළේය.