Thursday, May 16, 2024
Follow Us
තේ පොහොර වර්ග 03ක මිල රුපියල් 2000කින් අඩු කෙරේ
තේ වගාව සඳහා යොදනු ලබන T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අද (16) තීරණය කළේය.
 
ඒ අනුව දැනට වෙළඳපොළේ පවතින තේ පොහොර මිලට වඩා සියයට 50කින් අඩු වීමට නියමිතය.
 
දැනට වෙළඳපොළේ ඉහත සඳහන් පොහොර වර්ග මිටියක මිල රුපියල් 13,000 ඉක්මවා තිබේ.
 
මේ අනුව T 750 සහ T 709 තේ පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත්, T 200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට ඇමතිවරයා උපදෙස් දුන්නේය.
මෙම පොහොර සහනය කුඩා හා මධ්යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබා දෙන අතර, මහ පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත සඳහන් සියලුම පොහොර වර්ග රුපියල් 9735ක මුදලකට ලබා දීමට ද තීරණය කරනු ලැබීය.
 
අද දින පෙරවරුවේ වැවිලි කර්මාන්ත අමාත්යාංශයේදී තේ වගා කරන දිස්ත්රික්ක අටෙහි තේ වගාකරුවන්ගේ සංගම්වල නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ අතර, එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්යංශයේ තේ වගාව සම්බන්ධව කටයුතු කරන සියලුම නිලධාරීන් ද සහභාගී වූහ.
 
රජයට අයත් පොහොර සමාගම් විසින් නිපදවනු ලබන තේ වගාව සඳහා විශේෂිත පොහොර උසස්ම ප්රමිතියෙන් යුක්ත වන නිසා එම පොහොර ලබා දෙන ලෙස නියෝජිතයෝ ප්රකාශ කළහ. මෙම රුපියල් 2000ක පොහොර සහනය සඳහා අමතරව වැයවන මුදල රුපියල් මිලියන 1200ක් වන අතර, එම මුදල් ප්රමාණය තේ මණ්ඩලය විසින් දැරීමට නියමිතය.
 
අප රටේ තේ කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා විශේෂයෙන් තේ වගාව සඳහා පොහොර යෙදීම අනිවාර්යය කිරීමට ගන්නා පියවරක් වශයෙන් මෙම සහනය ලබා දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය.