Thursday, May 16, 2024
Follow Us
මෙම වසරට පමණක් අක්කර බදු අය කිරීමේ තීරණයක්

අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ගොවිජන සංවර්ධන පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත්, ගොවිජනතාවගේ යහපත උදෙසා නව කරුණු ඇතූළත් කිරීමත් සිදු කෙරෙන බැවින් අක්කර බදු අය කිරීම මෙම වසර සඳහා පමණක් සිදු කිරීමට කටයුතු කරන බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

අක්කර බදු වශයෙන් රජය දැනට අය කරන මුදල අක්කරයකට රුපියල් 100කි. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුව ද එම බදු අය කිරීම සඳහා ද විශාල මුදලක් වැය වේ. එමනිසා තවදුරටත් අක්කර බදු අය කිරීම ඵලක් නොමැති කරුණක් බව පිළිගැනීම වේ.

එමනිසා ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසර සඳහා පමණක් අක්කර බදු අය කිරීමට තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගාල්ල නගර ශාලාවේ දී පැවැති ගොවි රැස්වීමක දී ගොවි ජනතාව අක්කර බදු අය කිරීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසනු ලැබීය.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා අක්කර බදු අය කිරීම අත්හිටුවීමට ජනාධිපතිතුමන්ගේ ද අවධානය යොමු වී ඇති බවත්, නමුත් මෙම වසර සඳහා පමණක් අක්කර බදු මුදල් අය කෙරෙන අතර ලබන වසරේ සිට අක්කර බදු ප්‍රතිපත්තිය අත්හිටුවන බව ද පැවසීය.