Thursday, May 16, 2024
Follow Us
රටින් ටින්මාළු ගෙන්වීම තාවකාලිකව නවත්වයි

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම ඊයේ(11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා ද ඇත්තේ ඊයේ (11) ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ ධීවර අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවේදීය.

මෙහිදී වර්තමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ඉන් ප්‍රධානතම ගැටලුව වුයේ පසුගිය මාස කිහිපය තුළ ටින් මාළු ටොන් 8000ක් පමණ විදේශිය රටවලින් ගෙන්වීම හේතුකොට ගෙන දේශීය ටින්මාළු අලෙවි කර ගැනීමට දේශීය වෙළදපොලේ නොහැකි වී තිබීමයි. . විශේෂයෙන් විදේශයෙන් ගෙන්වන ලද ටින් මාළුවල මිල අඩු වී ඇති බවත් වර්තමානයේ රජය විසින් පනවා ඇති වැට් සහ සෙස් බදු හේතුවෙන් තමන්ට ආනයනික ටින් මාළු ලබා දෙන මිළට සිය නිෂ්පාදන ලබා දීමට නොහැකි බැවින් සිය කර්මාන්තශාලා මේවන විට වසා දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා අද දින සිට (11) ටින් මාළු ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර දැනට ගෙන්වා ඇති ටින් මාළු සඳහා ද අමතර බද්දක් අයකිරීමට සුදුසු පියවරයන් පිළිබදව සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යාංශ ලේකම්තුමිය වෙත උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ මාළු මිල ඉහළ යන කාලවලදී ටින්මාළු සදහා මාළු ගෙන්වීම ලංකාවේ ටින්මාළු නිෂ්පාදකයන්ට ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් දුන් අමාත්‍යවරයා ටින් මාළු නිෂ්පාදකයන්ගේ තවත් ගැටලු කිහිපයක් සඳහා ද විසදුම් ලබා දුන්නේය.