Thursday, November 28, 2024
Follow Us
අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත නිර්මාණකරුවන්ට ජාතික මට්ටමේ ඇගයීමක්

කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු සමඟ එක්ව සංවිධාන කළ "රන්සළු" ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (06) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ. 

අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිර්මාණ කුසලතාව දිරිගැන්වීමේ අරමුණින් 1990 වසරේ සිට වාර්ෂිකව මෙම "රන්සළු" ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කරනු ලබන අතර මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී නිර්මාණකරුවන් හා වියන්නන් ඇගයීම සිදුකරයි. 

තරඟ අංශ 21 ක් යටතේ පළාත් මට්ටමින් පැවැත්වූ අත්යන්ත්‍ර රෙදිපිළි තරඟවලින් ජයග්‍රහණය කළ නිර්මාණ සියල්ල නැවත වතාවක් කොළඔ දී පවත්වන ලද ජාතික තරඟයකින් පසුව තෝරාගන්නා ලද නිර්මාණ සදහා මෙම සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි.

"රන්සළු" ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයේ දී අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් හා වියන්නන් 129 ක් සදහා සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී. 

මෙහි දී ස්වර්ණ සම්මානය, රජත සම්මානය, ලෝකඩ සම්මානය මෙන්ම එක් එක් අංශ වලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. 

එසේම හොදම පේෂකර්ම පාසල මෙන්ම හොදම ශිෂ්‍යයා වෙත ද ඇගයීම් සම්මාන පිරිනමනු ලැබීය.    

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ,  1970 දශකයේ ශ්‍රී ලංකාවේ පේෂ කර්මාන්තයේ විශාල දියුණුවක් පැවතිය ද විවෘත ආර්ථිකයත් සමඟ එම තත්වය පරිහානියට පත්වූ නමුත් වර්තමානය වනවිට නැවත පේෂකර්ම නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙමින් පවතින බවයි. 

එසේම ඉදිරි දශක 2 අවසන් වන විට ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට පත්වීමට ඉහළ  අවස්ථාවක් ඇති බවත් ලෝකයේ ඉහළම ආර්ථික සංවර්ධන වේගයන් පවතින රටවල් 2 වන ඉන්දියාවේ හා චීනයේ පවතින අතිවිශාල වෙළඳපොළ අපට විවෘත වී ඇති නිසා වෙළඳපොළේ ඇති අවශ්‍යතාවය හා භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබදව සැලකිල්ලට ගනිමින් සන්නාමය, සහතිකය හා සන්නිවේදනයට මුල් තැන දීම වැදගත් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.  

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින් ජාතික ආර්ථිකයට පේෂ කර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය වඩා ඉහළ නැංවීමට නම් මෙම ක්ෂේත්‍රයේ සම්ප්‍රදායන් රැකගනිමින් මෝස්තර නව්‍යකරණයට ලක්විය යුතු බවත් ඒ සමගම නව තාක්ෂණය සමගද බද්ධ විය යුතු බවත් පැවසීය.