Thursday, November 28, 2024
Follow Us
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිගෙන් යුද හමුදා නිලධාරීන්ට උපදෙස්

ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (12) පෙරවරුවේ ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් මෙම සංචාරයට එක්ව සිටියහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වීය.
අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී එදිනෙදා ජන ජීවිතයට මහත් බාධා පමුණුවමින් විශාල ලෙස දේපළ හානි සිදුව ඇති පසුබිමක අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටි ගමනාගමනයට බාධා ඇති වූ ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමි පියවර ගන්නා ලෙස යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
තව ද, විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්ට ද උපදෙස් දෙන ලදී.