Thursday, November 28, 2024
Follow Us
ජාතික ඩිජිටල් උපාය මාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

2030 ජාතික ඩිජිටල් උපායමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුවත් කිරීම සිදුකරන ලදී. 2030  - ජාතික ඩිජිටල් උපායමාර්ගය සකස් කිරීම සඳහා පත් කරන ලද තේමාත්මක ක්‍රියාකාරී කණ්ඩායම (Thematic Working Group - TWG) විසින්  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදුකරන ලදී.

ඒ අනුව, "ඇතුළත් කිරීම්, නවෝත්පාදනය සහ තිරසාර වර්ධනය" යන දැක්ම යටතේ 2030 ජාතික ඩිජිටල් උපායමාර්ගයේ කෙටුම්පත සකස්කරමින් පවතින බව තේමාත්මක ක්‍රියාකාරී කණ්ඩායම වෙනුවෙන්  කරුණු ඉදිරිපත් කළ ලෝක බැංකු නියෝජිත සිද්ධාර්ථ රාජා මහතා සඳහන් කළේය. මෙහිදී, යටිතල පහසුකම් සම්බන්ධතාවය, සම්බන්ධිත ඩිජිටල් රජය, ඩිජිටල් මූල්‍ය සේවා, සයිබර් ආරක්ෂාව, කුසලතා සහ කර්මාන්ත සහ අන්තර් ක්ෂේත්‍ර ඩිජිටල්කරණය යන එක් එක් තේමාවන් සඳහා ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් වන බව ද ඔහු පැවසීය.

ඒ අනුව, ජාතික ඩිජිටල් උපායමාර්ගය නොවැම්බර් මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලෝක බැංකු නියෝජිත සිද්ධාර්ථ රාජා මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම, මෙරට ජනතාවගේ සහ අනෙකුත් දත්ත දැනටමත් විවිධ රාජ්‍ය ආයතනවල පවතින බවත් ඒවා එක් දත්ත ගබඩාවක් යටතේ නොමැති වීම ගැටලුවක් බව කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ. දැනට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා පැවසීය.

එයට අමතරව, ශ්‍රී ලංකාවේ PayPal ක්‍රමය හඳුන්වාදීම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව කාරක සභාව මෙහිදී මහ බැංකු නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ, PayPal ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස මහ බැංකුව විසින් අදාළ  සමාගමෙන් ඉල්ලා ඇති නමුත් සමාගම ගත් තීරණය හේතුවෙන් PayPal ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම ප්‍රමාද වන බවයි.  

එමෙන්ම රාජ්‍ය ආයතනවල පවතින තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්විය. පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ වැටුප් හා සසඳන විට රාජ්‍ය ආයතනවලින් ගෙවන වැටුප් ඉතා අඩු බැවින් රජයේ ආයතනවල තනතුරුවලට සුදුසුකම් ලත් පුද්ගලයන් නොපැමිණෙන බව නිලධාරීහු පෙන්වා දුන්නේය. 

කළමනාකරණ සේවා වැටුප් විධිවිධාන අනුව මෙම වැටුප් පරිමාණය වැඩි කළ නොහැකි බවත්, ඒ අනුව ජනාධිපතිවරයා හෝ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පමණක් සුදුසුකම් ලත් පුද්ගලයන් බඳවාගෙන අදාළ ආයතනවලට පත් කිරීමට යෝජනා කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙන්වා දුන්නේය.