Friday, November 29, 2024
Follow Us
මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඉ - ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය මගින් දැනට යම් පළාතක් තුළ ලියාපදිංචි වාහන සඳහා පමණක් බලපත්‍ර නිකුත් කරනු ලබන අතර ඉදිරියේ දී ලංකාවේ ඕනෑම ස්ථානයකින් ආදායම් බලපත්‍ර ලබාගත හැකි වන පරිදි පරිගණක පද්ධතිය මේ වන විට වැඩි දියුණු කරමින් පවතී.

ඒ අනුව නව පරිගණක පද්ධතිය මගින් 2023.10.03 සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත නමුත් ආරම්භක අවදියේ දී පද්ධතියේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරන තෙක් නව පද්ධතිය මගින් අදාළ පළාතේ බලපත්‍ර පමණක් නිකුත් කිරීම සිදු කෙරේ.

දැනට පවතින වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක දත්ත නව පරිගණක පද්ධතියට සංක්‍රමණය කිරීම හේතුවෙන් 2023.09.24 මධ්‍යම රාත්‍රී 12.00 සිට 2023.10.06 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර අයදුම් කිරීමේ කටයුතු හා 2023.09.27 හා 2023.10.02 කවුළු හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

එබැවින් 2023.09.27 හා 2023.10.02 යන දෙදින මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාතේ කිසිදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලකින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොකෙරේ.

2023.09.27 සිට 2023.10.06 අතර කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද කටයුතු කෙරේ.