Friday, November 29, 2024
Follow Us
පොහොර මිල දී ගැනීමට හෙක්ටෙයාරයකට රුපියල් 15,000ක් ගොවි ගිණුම්වලට

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කළ බවත්, එම මුදල් හෙක්ටෙයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබා දෙන අතර එම මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට තීරණය කළ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.


පසුගියදා (20) දිනය පුරා ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමඟ අමාත්‍යවරයා වර්තමානයේ ගොවීන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්විණි.
එම ගොවි සභාපතිවරු විසින් එක් එක් දිස්ත්‍රික්කවල ඇති ගොවි ගැටලු ප්‍රකාශ කළ අතර රජය වශයෙන් එම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මෙවර මහ කන්නයේ දී වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාරයක් වශයෙන් රුපියල් 15,000ක මුදලක් රජය ලබා දෙන අතර එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට පිළිවන.
එමෙන්ම මේ වනවිට පොහොර සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිළි කළ අමාත්‍යවරයා බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට තිබෙන රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඬ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද සඳහන් කළේය.
එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මගින් ලබා දෙන අතර එම මිලටම යුරියා පොහොර ගොවීන් වෙත ලබා දීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර තිබේ.
මෙහි දී අදහස් පළ කළ ගොවි නියෝජිතයින් වී සඳහා උපරිම මිලක් ලබා දෙන ලෙසත්, ගොවි ජනතාවට සහනාධාර අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කළේය.
සියලුම ගොවි සංවිධාන එක තීරණයක් ගෙන පොහොර සහනාධාරය අවශ්‍ය නොමැති බව ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් යොදවා වී මිල දී ගැනීමටත්, වී සඳහා ඉහළම මිලක් ලබා දීමටත් හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් රජය වෙන් කළේ රටේ පවතින මුදල් අර්බුදයත් සැලකිල්ලට ගනිමින් බවත්, මීට වඩා මුදලක් ලබා දීමට හැකි නම් ඒ සඳහා පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.