Saturday, July 27, 2024
Follow Us
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද(16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ඒ හා සමගාමීව පොල්පිතිගම පොලිස් ස්ථානය විසින් සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනකට සහ මහජන හමුවකට සහභාගී විය.

මෙම මහජන හමුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ, වසර ගණනාවක් අවශ්‍යතාවයක්ව තිබූ නව ගොඩනැගිල්ල නිම කොට ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත්, පසු ගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්ත්වයක පැවති බවත් ඔහු පැවසීය.

පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණු බව පෙන්වා දුන් අමාත්‍යරවයා පසු ගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහළ නංවා තැබීමට හැකී වූ බව ද සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලීසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු නිසා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීමට හැකි වූ බවද, එයට ප්‍රති උපකාරයක් ලෙස සියලුම පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරන බවත්, මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බවත් ය.
තවද සමහරුන් පොලීසියට කෙතරම් බැන වැදුනද, අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේද ශ්‍රී ලංකා පොලිසිය පමණක්ම බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී වූහ.