Wednesday, October 09, 2024
Follow Us
හරිතාගාර වගාවට ගොවීන් උනන්දු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක්

හරිතාගාර වගාව හෙවත් Poly Tunnel තුළ එළවළු වගාව ප්‍රචලිත කිරීමට ගොවීන් උනන්දු කරවීම සදහා රජය විසින් රුපියල් මිලියන 500ක මුදලක් මෙම වසර සඳහා ලබා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව රටේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් බැගින් තෝරාගෙන ඔවුන්ට සියයට 50ක සහනාධාරයක් වශයෙන් රජය විසින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හරිතාගාර තුළ වගා කිරීමේ වැඩ සටහන සම්බන්ධව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග අමාත්‍යවරයා ඊයේ (13) සාකච්ඡා කරනු ලැබීය. මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල්. අබේරත්න, යන මහත්වරු ඇතුලු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.

හරිතාගාර තුළ වගා කිරීමට ගොවීන් උනන්දු කිරීමේ වැඩපිළිවෙළ සඳහා මෙම වසරට රජය විසින් ලබා දී ඇති මුදල රුපියල් මිලියන 500කි. මේ යටතේ තෝරා ගන්නා එක් ගොවි මහතෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන අතර ඉතිරි ලක්ෂ පහ අදාල ගොවි මහතා විසින් දැරිය යුතුය.

මේ යටතේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර අඩු තරමින් එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් වත් තෝරා ගැනේ.

විශේෂයෙන් එළවළු වගාවේ දී සිදුවන වගා හානි අවම වීම, ප්‍රමීතියකින් යුත් එළවළු වෙළෙඳපොලට සැපයීම හා වසර කිහිපයක්ම මෙම පොලි ටනල් යොදා ගැනීම සිදු කළ හැකි බැවින් ගොවි ජනතාවට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.

මෙම පොලිටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය, නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හදුන්වා දීමේ තවත් එක් පියවරක්. පොලි ටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය තුළ අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ තරුණ පරම්පරාවටයි. අද කෘෂිකර්මය සම්බන්ධව තරුණ ප්‍රජාව තුළ විශ්වාසයක් නැහැ.

ඒ නිසා තරුණ පරපුර තුළ මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසය නැවත ඇති කළ යුතුයි. ඒ සඳහා අපි මෙම පොලි ටනල් ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම එක ගම්මානයක් තෝරාගෙන එම ගම්මානය හරිතාගාර තුළ වගා කරන ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමත්, වගා කටයුතු සිදු කරන ගොවීන් එකම ජනතා ගොවි සමාගමක් යටතට ගෙන එමත් අපේ අරමුණයි.

ඒ අනුව අතරමැදියන් නොමැතිව තම අස්වැන්න වෙළෙඳපොලට ලබා දීම හා පාරිභොගිකයාට සාධාරණ මුදලකට අලෙවි කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනවා යැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.