එළැඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක් තුළ සියලුම ප්‍රදේශවල ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කළ යුතු යැයි කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ සියලුම අංශ ඊයේ (29) තීරණය කර තිබේ.
2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් විය හැකිය. මක්නිසාද යත් දැනට ක්‍රියාත්මක ව පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙවර මහ කන්නයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වල විශාල වර්ෂාපතනයක් ලැබිය හැකිවා මෙන්ම මීළඟ යල කන්නය නැවත වරක් වියළි කාලගුණික තත්ත්වයක් උද්ගත විය හැකි යැයි මෙරට මෙන්ම විදේශීය කාලගුණික අංශ ද අවධාරණය කර ඇති බැවිනි.
එම නිසා වර්ෂාවෙන් ලැබෙන ජලය අපතේ යා නොදී මනාව කළමනාකරණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අවධාරණය කළෝය.
මෙවර මහ කන්නයේ වගා කටයුතු සැළසුම් කිරීම පිළිබඳව සියලු අංශවල සහභාගිත්වයෙන් ඊයේ (29) සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දී පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ, මහවැලි, වාරිමාර්ග, ඇතුළු අංශ ගණනාවක් මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරුන් හා ගොවි නියෝජිතයින් ද සහභාගි වූහ.
මෙවර යල කන්නයේ දී මුහුණ දීමට සිදුවූ වියළි කාලගුණික තත්ත්වය නිසා වී හා අනෙකුත් බෝග ගණනාවක හානිය ජාතික ආහාර බෝග නිෂ්පාදනයට බලපෑම් එල්ල කර තිබේ. එමෙන්ම මෙවැනි නියඟයකට මුහුණ දීමට සිදුවන තරමට එල් නිනෝ බලපෑම එල්ල විය හැකි බවට කිසිදු අංශයකින් ගොවි ජනතාව දැනුම්වත් කර නැත. ගොවි ජනතාවට එම පණිවුඩය නොයාමේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බාර ගත යුතු බවත්, ඉදිරියට මෙවැනි අඩුපාඩු වළක්වා ගනිමින් කටයුතු කිරීම වැදගත් බවත් සියලු අංශ අවධාරණය කළහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළමු වතාවට සියලුම අංශ එක්ව වගා කන්නයක් සැළසුම් කිරීමට දායකත්වය ලබා දීම අගය කළ යුතු යැයිද අවධාරණය කළේය.
මෙවැනි ක්‍රියාකාරිත්වයක් යල කන්නයේ අනුගමනය කළා නම් කිසිදු විටෙක ජල හිඟයක් ඇති නොවී ජලාශවල තිබෙන ජලය සියලු අස්වනු නෙලා ගන්නා තෙක් කළමණාකරණය කිරීමට හැකියාව තිබු බව ද අමාත්‍යවරයා පැවසීය. එමනිසා ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා මෙම සහයෝගිතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.