Tuesday, November 05, 2024
Follow Us
නැගෙනහිර  පුනර්ජනනීය බලශක්තින් සූදානම පිළිබඳ සාකච්ඡාවක්

2030 වනවිට මෙරට සමස්ත විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පළාත සූදානම් කිරීම සඳහා සහ නව ඉන්ධන පිරිපහදුවක් සමඟ නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිලිබදව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා, පලාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු සහභාගි වූහ.

නැගෙනහිර පළාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු, ඒ සඳහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ෂණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර මෙම ව්‍යාපෘති කඩිනමින් කිරීම සඳහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම  විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයෝ පත් කිරීමට යෝජනා විය. 

ත්‍රිකුණාමලය, බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ රජයේ වැඩසටහන පිළිබඳව සහ එමගින් විවෘත වන නව බලශක්ති සහ විදුලිබල වැඩසටහන් පිළිබඳව ආණ්ඩුකාරවරයා සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ.