Tuesday, November 05, 2024
Follow Us
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ යයි

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි. පසුගිය වසරට සාපේක්ෂව මේ ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළයෑමක් බව සමාගම් පෙන්වා දෙයි.

රජයට අයත් ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් වන මිල්කෝ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා පෞද්ගලික අංශය සතු පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

එම සමාගම් වාර්තා අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පසුගිය මාස හයේ එළකිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වාත් මිල්කෝ සමාගමේ එළකිරි නිෂ්පාදනය කිරි ලීටර් 19,152,766 දක්වාත් ඉහළ ගොස් තිබේ.

මෙහිදී ආරියශීල වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේ තමන් විසින් පවත්වාගෙන යන පැල්වත්ත කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සතුව මේ වන විට මෙරට දියර කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් අලෙවි කර ගත නොහැකිව ඇති බවයි. රටේ කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය විසින් විදේශ රටවලින් තවදුරටත් කිරිපිටි ආනයනය කිරීමට අවසර දීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඒ මහතා මේ සාකච්ඡාවේදී අවධාරණය කළේය. මේ වන විට රටේ දියර කිරි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය නතර කරන ලෙස මේ සමාගම් බලධාරීන් ඇමැති අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.

කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පශු සම්පත් අංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේ අමාත්‍යවරයා එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කිරිපිට ආනයනය පිළිබඳ ඉදිරි තීරණයක් ගන්නා බව ද සඳහන් කළේය.

පසුගිය වසර දෙකේ පැවැති සත්ව ආහාර හිඟය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටී තිබිණි. පසුගිය වසර දෙකේ දියර කිරි හිඟය නිසා මිල්කෝ සමාගම විසින් කිරි පිටි නිෂ්පාදනය හා හයිලන්ඩ් ශීත කළ කිරි නිෂ්පාදනය අත්හිටුවා තිබු අතර, මේ වසරේදී නැවතත් එම නිෂ්පාදන ආරම්භ කර තිබේ. එමෙන්ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ද මේ වන විට නැවතත් තම කිරි නිෂ්පාදන සියල්ල ඉහළ නංවා තිබේ.