Tuesday, November 05, 2024
Follow Us
රජයේ වාණිජ ඉඩම් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“මේ වන විට කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කර තිබෙනවා. ඒම නිසා අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අප ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ලබන මාසය අවසන් වීමට පෙර ආයෝජකයන් ඒ පිළිබඳ තීන්දුවක් නොගන්නේ නම් ඒම ව්‍යාපෘති රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරනවා.
එසේම කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම් තිබෙනවා. ඒවා ද රටට සහ ජනතාවට ආර්ථිකමය වශයෙන් ශක්තියක් ලැබෙන ආකාරයට නව ආයෝජකයන්ට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව රටට හිතකර ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම කටයුතු සිදුකරමින් තිබෙනවා.
හිල්ටන් හෝටලය මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සේවක අයිතිවාසිකම් මෙන්ම හිල්ටන් හෝටල් ජාලයේ සම්මුතීන් ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලැබෙන අයුරින් එය වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට සමගාමීව බත්තරමුල්ල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලය ද නව ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නවා. එම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් ද පත් කර තිබෙනවා.”