“යළි පිබිදෙන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා කර්මාන්තය”
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය සමඟින් එක්ව සංවිධාන කළ දෙස් විදෙස් ගුවන්සේවා ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගී වන දැනුම හුවමාරු කර ගැනීමේ වැඩමුළුවක් සහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (14) කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඒ වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
කොරෝනා වසංගත තත්ත්වය සහ ආර්ථික බාධාවන් හමුවේ යම් පසුබෑමකට ලක් වූ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගෙන ඇති පියවර සහ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය යථාවත් කිරීමට කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ මෙම වැඩමුළුවේ දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
එහි දී අනාවරණ වුණේ පසුගිය මාස දෙකක කාලය සැලකීමේ දී කොවිඩ් හමුවේ ගුවන් ගමන් වාර අත්හිටවූ එයාර් ශීෂෙල්ස්, තායි එයාර් ඒෂියා සහ එයාර් චයිනා යන ගුවන් සමාගම් 03 නැවත සිය ගමන් වාර ආරම්භ කර ඇති අතර තායි ලයන් එයාර් සමාගම නුදුරේ දී ම ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.
එමෙන්ම වර්තමානයේ විදේශීය ගුවන් සමාගම් 35ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඉන් ගුවන් සමාගම් 29ක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත ද, ගුවන් සමාගම් 05ක් මත්තල ගුවන් තොටුපොල වෙත ද, එක් ගුවන් සමාගමක් යාපනය ගුවන් තොටුපල වෙත ද ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු දැකගත හැකියි.